Monday 27 January 2014

අපේ කම . . .

එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.

මේ ඒකෙ දෙවෙනි කොටස.

ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිට නිමිල ගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුන කාර්‍යභාරයක් ඉතිරි කරමින්.

මෙයිට වසර කිහිපයකට පෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම සුන්දර මනුස්සයෙක් උන මේ වඩු කාර්මික මහතා අර කුඩා ගමෙන් ආපු සියලු දෙනාටම බොහොම හොද සගයෙක් උනා.

ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහු ඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.

ඒ වඩු මහත්තයා තමන් උගත් දේ කිසිම පැකිලීමකින් තොරව තමාගේ මිත්‍රයාට පිලිවෙලක් ඇතිව කියා දුන්න නිසා,මේ බව ගම් ගෙවල්,නවාතැන් ,වැඩපලවල් අතර විහිදෙන්න වැඩි කලක් ගත උනේ නෑ.

දින සති මාස ගෙවෙමින් යන අතරතුර දැණුම පිපාසෙන් තම නිවසේ දොරට තට්ටු කරන ඕනෑම අයෙකුට කිසිම බේදයකින් තොරව දන්නා නොදන්නා සියලු දෙනාට නොමසුරුව තම ධනය කාලය වැය කරමින් උපකාර කලා.

කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.

එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භ කල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.

මේ සාකච්චාවට දැන් ප්‍රවීණ වඩු මහත්තයාගේ නිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.

නිවසේ තිබුණ වාඩි වීමට හැකි සියලු දේ අවසන් වූ පසු පන්තියට එනවිට පුටුවක් තමාගේ භාවිත‍යට රැගෙන දැණුම පිපාසාව සන්සිදවා ගැනීමට පවා සාමාජිකයින් පෙළඹුණා.

මෙයාකාරයෙන් මේ පන්තිය නිසොල්මනේ සියලු වඩුකා‍ර්මිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ඉමහත් ජනාදරයට පත් උනා.

කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.

සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි  වුණු ගිනි පුලිගු වියලි දඩු කැබලි රත් ක‍ර තිබුණා.

පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටු සාජ්ජේ වෙනකල් වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.

ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේ නිවසේ සාකච්චාව පැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.

ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.

ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා  . . .



Tuesday 21 January 2014

කළු ලේබල් සමග පරණ මතක . . .



කාලය:       2006
ස්ථානය:     කොලඹ කොටුව දුම්රිපොල

උදෑසන 5ට පමණ කොලඹට පැමිනි නගරාන්තර බස් රථය කොටුව දුම්රිය ස්ථානය පිටුපස නවත්වන ලදින්, දෙපාමුල තිබූ ගමන් මල්ල දකුණු කරට ගෙන බැස ගතිමි.

නිදිමත කොතරම් දැඩීවීද යත් යා යුත්තේ කිනම් දිසාවකටදැයි යන්න මනසට කාන්දු වූයේ සෙමින්ය .

ගාල්ලෙන් ගත් වතුර බෝතලේ ඉතිරි වී තිබුන වතුර ටික උගුරෙන් පහලට දමා ගත් විට යම් පමණක ප්‍රකෘති ගතියක් ලැබුණි.

පෙරදින වැඩබිමේ පඩි නඩි බේරා ලැබෙන දින දෙහෙක නිවාඩුව ගත කිරීමට ගම් රටවල් බලා යාමට මම රෑම පිටත් වූවත්, අන් බොහෝ දෙනා අද පාන්දර පිටත්ව යයි.

මත් ගතියෙන් තවමත් විඩාබර බවක් ගතට තදින්ම දැනේ. අද දවස යහපත් ලෙස ගත කිරීම අත්‍යාවශ්‍ය නිසා ඒ අපහසුතාවය මදකට අමතක කර දැම්මෙමි.

නිවාඩු යෑමට මත්තෙන් සුපුරුදු ලෙස වැඩබිමේ පවත්වන සාදය රෑ දෙගොඩහරී ජාමය කරා දික් විය.මට එතෙක් වේලා ‍රැදී සිටීමට නොහැකි වීම් සියුම් කනගාටුවක්ද සිතට දනවයි.

නමුත් නුපුරුදු ජලයක පිහිණන අයෙකු ලබන සතුටක් මමද පසුගිය දෙසතිය තුල ලැබූ බව අවිවාදිතයි.

මෙවන් සිතිවිලි අතර සැරිසරමින් දුම්රිය වේදිකාවන් එකින් එක පසුකරමින් අනෙක්පස ඇති විවේකාගාරය වෙත පියමැන්නේ කට තුල නලියමින් තිබූ මත් කසටෙන් මිදීමට සහ බස් රථයේ පැති ජනේලයෙන්  මුහුණට වැදුනු පිනි මිශ්‍ර දූවිලි තට්ටුව යවාගැනීමේ අටියෙනි.

සීතල වතුර බිදකින් මුහුණ තෙමාගෙන දින දෙහෙකට පෙර සූදානම් ක‍ර ගත් අත් කොට නිල් කමිසය ඇගට දමාගත් විට යම්කිසි නැවුම් ගතියක් සිතට දැනෙන්නට විය.

අලුත් හැගීමකින් සිත පුරවාගෙන ගමන් මල්ල එක් කරකින් පසුපසට දමාගෙන දුම්රිය වේදිකාවට පැමිණියේ තව හෝරාවකින් හෝ ඊට මදක් වැඩියෙන් පසු ප්‍රණීත උදෑසන ආහාරයක් ලැබෙතත් ගත විඩාව සමනය කිරීමට ආපනශාලාව වෙත යාමටය.

නැවත යථා තත්වයට පත් වීමේ අටියෙන් බනිස් එකක් හා උනු කෝපි කෝප්පයක් ඇනවුම් කර නැවතත් සිතිවිලි අතර සැගවීමි. 

කෝපි කෝප්පයෙන් ලැබුන පන්නරය සමග වේදිකාව මත බන්කුවක් මත වාඩි වී සිටියද මා සිත අතීත මතකයන් අතර ඔබ  මොබ දිව යයි.

සති‍යකට දෙහෙකට පෙර සිටි මා සහ දැන් මා අතර වෙනසක් වී නම් ඒ ඇය නිසා බව මා සිත පිරි යයි. නමුත් ඇය හා අතීත මතකයන් පසු පස ලුහුබැද ඒම මට මනසට වදයක් විය.

එකල මා ඇය සමග කී දේවල් මෙයින් පසු කෙසේ මා වෙත ආපහු ලැබේද?

මෙසේ හෝරාවක් ගෙවී යනතෙක් මනසේ සිතිවිලි අතර අතරමන් වී සිටියෙමි.

ජන්ගම දුරකතනයේ ඇගේ නම සදහන් වන විට පෙර මෙන් සැහැල්ලුවෙන් අතට ගත්තද අද යම්කිසි තිගැස්ස්මක් ඇතිවිය.

සුදු සහ කලු ඉරි වැටුන සාය සමග දුබුරු පැහැ බ්ලවුසය ඇගේ පෙර  නොදැකපු පෙනුමක් එක්ක‍ර ඇත.

මෙයිට මසකට පමණ පෙර මා ගෙදර යාමට කමිසයක් මිලදී ගැනීමට ඇයත් සමග යන අවස්තාවකදී මේ ඇදුම තෝරා ගත් බවත් එයට මගේ කැමැත්තද හිමි ඌ බවත් මතක් වන විට නැවතත් මගේ සිත වරදකාරී හැගීමකින් පිරෙන්නට විය.

ඇය කතාවේදී එවන් ගතියක් නොපෙන්වූ බැවින් මමද ඇය හා එක්ව කිසිත් නොවෙනස් බව පෙන්නුවද ඇති වී තිබෙන අපහසුතාවය රහසක් නොවීය.

ගමනාන්තය වූ නුව‍ර දුම්රිය ස්ථානයට ලබාගත් ටිකට් දෙකත් රැගෙන අපි වේදිකාව දෙසට පිය මැන්නෙමු.සෙමින් සෙමින් වදින ඒ අත අල්ලා ගැනීමට මා සිත් වූවද, සිත කිසියම් චකිතයකින් වෙලී ඇත.

එයටත් ඇයගේ සහය පැමිනියෙන් අතින් අල්ලාගෙන කෝච්චියට නැගීමට මට හැකි විය.

මා සතුව පැවති වැඩබිමේ කතා රසවිදිමින් කන්ද උඩරට සීමාවට  අපහසුවකින් තොරව පැමිණි බව පලමු උමන් මාර්ගයට ඇතුල් ඌ දුම්රිය කියාපායි.

හාත්පස කලුවර විය.

අතින් අල්ලාගත් වනම සිටි ඇයගේ නිහඩබව මා එදෙසට කිට්ටුවීමට අවශ්‍ය දිරිය සැපයීය.

එකෙනෙහිම උමගෙන් එලියට ඇදුනු දුම්රිය තුලට වන් හිරු එලිය එතෙක් නොතිබූ අපහසුතාවය අප සිත් තුලට කාන්දු කරවීය.

මා අතින් නිදහස් කරගත් ඇගේ අත දුරකතනය වෙතට මාරු විය.

පුරා අවුරුදු 5ක් මිතුරන් ලෙස සිට වුවත් මේ අවස්ථාවෙන් පසු මුහුණ බැලීමට මා හට චකිතයක් ඇති වූයෙන් මමද දුරකතනයේ පිහිට සෙවීමි.

අප අතර නිහඩ බව මා තව තවත් ආගන්තුක බවට පත්කරවීය.

විශ්ව විද්‍යාල කාලය පුරා අවුරුදු හත‍රක් සහ මාස කීපයක් මේ දුම්රියෙන් ගමේ සිට යන එන මට ඊ ලග උමග තුලින් දුම්රිය යන වෙලාව රහසක් නොවීය.

තව දුරටත් මෙවන් ආගන්තුක චරිතයකට පණ පෙවීමෙන් පලක් නොවෙන බැවින් දුම්රිය උමගට ඇතුලුවීමත් සමග ඇගේ අතින් අල්ලා මා කිට්ටුවට ඇදගත් මා ඇගේ දෙතොල් තදින් සිපගතිමි .
-------------------------------------------------------------------------------------------------------
දැන් වේලාව: රාත්‍රි 12,30
මත් වතුරින් අඩපන ඌ මගේ සිත අතීත ගමන් මඟ ඔස්සෙ යමින් සිටියදී නෙත ගැටුන මතකයක්, වැලි දූලි වැදී කාලයත් සමග නටබුන්ව තිබුණි. 

වැලි දූලි පිසදා බැලූ විට පලමු සිපගැනීමෙ රසයත් සමග හැගීම එලෙසම සුරකිව තිබීම ගැන සිතට බොහෝ ඉස්තුතිවෙමින් මෙසේ ලීවෙමි. . .

තව සෙන්ටිමිටරක් ඇනගෙන නිදා ගන්නව . . .

කළු ලේබල් යනු සෙන්ටිමෙන්ටල් බීමකි . . .

www.mybottleshop.com.au